7 ශ්‍රේණිය - පුරවැසි අධ්‍යාපනය: සාරධර්ම

7 ශ්‍රේණිය - පුරවැසි අධ්‍යාපනය: සාරධර්ම

ad-bannerඅධ්‍යාපනය

Published on 5/3/2020

227 Views

ආදරණීය දුවේ පුතේ මෙම ලිපිය හරහා අපි ඔබට ගෙන එන්නේ ඔබගේ පුරවැසි අධ්‍යාපනය විෂය ධාරාවට අයත් පාඩම් මාලාවේ නව වැන්නයි. මෙහිදී සාරධර්ම පිළිබඳව දූලා පුතාලා දැනුවත් කරන්නටයි අපගේ බලාපොරොත්තුව. බලන්න එය කෙතරම් රසවත් සහ වැදගත් පාඩමක් ද කියලා.

පුද්ගලයා, සමාජය සහ ජීවිතය සාරවත් කරන පොහොසත් කරන මානුෂික ගුණාංග සාරධර්ම යනුවෙන් සරලවම හඳුන්වන්නට පුළුවනි. ජීවිතය සාරවත් කිරීම සඳහා සාරධර්ම ඉතාමත් වැදගත්. එම සාරධර්ම සමාජ සම්බන්ධතා ගොඩ නගා ගැනීමට මෙන්ම යහපත් සමාජයක් බිහි වීමට ද හේතු වනු ඇත. ඒ අනුව පුද්ගල ජීවිතය සහ සමාජ ජීවිතය අර්ථවත් කරන සදාචාරාත්මක සහ සංස්කෘතික වටිනාකමක් ඇති යහපත් සමාජයක පැවැත්මට අදාළ මානව ගුණධර්ම සාරධර්ම ලෙස හඳුන්වන්නට පුළුවන්. සමාජය නිර්මාණය වී පවතින්නේ පුද්ගලයන් සමූහයක එකතුවකින්. එම පුද්ගලයන්ගේ ගුණ ගරුක බව තුළින් සමස්ත සමාජය ගුණගරුක සමාජයක් බවට පත්වන බව දූලා පුතාලා හොඳින්ම දන්නා කරුණක්. දිගු කාලයක් සමාජය තුළ පොදුවේ පිළිගැනීමට ලක් ව පවතින්නා වූ ගුණාංග පද්ධතියක් සාරධර්ම ලෙස හඳුන්වන්නට පුළුවනි. ඒවා නීතිමය වශයෙන් බලවත් නොවන නමුත් සමස්ත සමාජය පාලනය කරනු ලබන හසුරවනු ලබන සහ මග පෙන්වනු ලබන ප්‍රධාන මෙවලමක් බවට පත්වේ.

කිසියම් පුද්ගලයකු තුළ වර්ධනය කළ යුතු සාරධර්ම ගණනාවක් පවතී. විනයගරුක බව, අවංක බව, ඉවසීම, නිහතමානී බව, ත්‍යාගශීලි බව, මිත්‍රශීලී බව, කාරුණික බව, ක්‍රෝධ නොකිරීම, දයාව දැක්වීම යනාදිය ඒ අතුරින් කිහිපයකි. සමාජ යහපැවැත්ම උදෙසා සෑම පුද්ගලයකු විසින් ම සාරධර්ම පිළිපැදීම අත්‍යවශ්‍ය වේ. සමාජයක යහ පැවැත්ම තීරණය වන්නේ එම සමාජ ක්‍රමය තුළ ජීවත්වන පුද්ගලයන් විසින් ආරක්ෂා කරනු ලබන සාරධර්ම මත ය. එදිනෙදා ජීවිතයේදී අප විසින් සාරධර්ම ආරක්ෂා කිරීම මෙන්ම ඒවා අනුගමනය කිරීම සඳහා යොමු වීම ඉතාමත් වැදගත්.

තම නිවස ආගමික ස්ථාන සේවා ස්ථාන ආදී සෑම තැනකදීම ඊට අදාළ සහ උචිත සාරධර්ම ආරක්ෂා කිරීමටත් ඒවාට ගරු කිරීමටත් පුද්ගලයන් වශයෙන් අප විසින් ක්‍රියා කළ යුතුයි. පුද්ගලයෙකු සාර්ථකත්වයට පත් වන්නේ එම පුද්ගලයා සතු ගුණාංග අනුවයි. පුද්ගලයකුගේ සංවර්ධනය සඳහා සාරධර්ම අත්‍යවශ්‍ය වන අතර ඒවා තම ජීවිතයට බද්ධ කරගත යුතුය. පුද්ගලයෙකුගේ සංවර්ධනය උදෙසා සාරධර්ම අත්‍යවශ්‍ය වන්නා සේම එදිනෙදා කටයුතු කිරීමේදී සාරධර්ම තම ජීවිතයට බද්ධ කරගැනීම සඳහා යොමුවීමත් ඉතාමත් වැදගත්. එවිට යහපත් සමාජයක් ගොඩනැගීමට හැකි වෙනු ඇත. ඈත අතීතයේ සිට සාරධර්ම පිළිපැදීමේ වැදගත්කම අවධාරණය කර ඇත. සිරිත් මල්දම සුභාෂිතය ලෝකොපකාරය වැනි පද්‍ය කෘති වලින් ඒ බව මනාව තහවුරු වේ.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner