සූපවේදී ඔලිම්පික් තරගාවලිය හැඩකල අපේ හපන්නු

සූපවේදී ඔලිම්පික් තරගාවලිය හැඩකල අපේ හපන්නු

ad-bannerවිශේෂාංග

Published on 4/8/2020

113 Views

ශ්‍රී ලාංකීය දූ පුතුන් විවිධ අවස්ථාවන් රැසකදීම ලාංකීය නාමය ලොව ඉහළින්ම ඔසවා තැබූ කතා පුවත් ඔබ කොතෙකුත් අසා ඇති. ඒ විවිධ ක්ෂේත්‍රයන්හි ඇති හැකියාවන් ඉස්මතු කරමිනි. කටට රසට කෑම උයන්න අපේ රටේ අය කවදත් දක්ෂයි. සූපවේදයට දක්ෂ අය වෙනුවෙන් සැලසුම් කරන ලද තරගාවලියකි සූපවේදී ඔලිම්පික් තරගාවලිය. සූපවේදී ඔලිම්පික් තරඟ බිමෙහි ශ්‍රී ලාංකිකයන් ලද ජයග්‍රහණයන් අතිවිශාල යි.

කෙසේ හෝ වේවා වසර දහසයක අතීතයේ නොලද ආකාරයේ ජයග්‍රහණයන් ශ්‍රී ලාංකිකයන් ලෙස මෙවර තහවුරු කරන්නට හැකිවීම භාග්‍යයකි. 2020 තරගාවලිය දින පහක් තරම් කාලයකට සීමා වෙද්දී ශ්‍රී ලාංකික සූපවේදී කණ්ඩායම පදක්කම් පනස් හයක් ලබාගන්නට සමත් විය. එය ඓතිහාසික වාර්තා පොත් අලුත් කිරීමකි. තවත් ආකාරයකට පැවැසුවහොත් මෙය බහුතරය නොදකින නොසිතන ක්ෂේත්‍රයක වීරයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමකි. තවද සූපවේදීන්ගේ සංගමයේ සියලු දෙනාගේ දීර්ඝකාලීන අරමුණු සහ එම අරමුණුවල කැපවීම් වල ප්‍රායෝගික ප්‍රතිඵලයකි. ශ්‍රී ලංකා සූපවේදී සංගමයේ සූපවේදී dimuthu kumarasinghe, gerard mendis, මාධව වීරවර්ධන, තිලක් සේනාරත්න යන සියලු දෙනාගේ දැඩි උත්සාහය සහ පෙරළියක් කිරීමට තිබූ දැවෙන ආශාව මෙම ජයග්‍රහණයට පාර කැපූ බවට සැකයක් නැත.

මෙවර තරගාවලිය සඳහා එක්වූ ශ්‍රී ලාංකික සූපවේදීන් සංඛ්‍යාව 28කි. රන් පදක්කම් 26 ක්, රිදී පදක්කම් විසි දෙකක් සහ ලෝකඩ පදක්කම් අටක් සහිතව ක්‍රීඩකයන් 28 දෙනා ලබාගත් මුළු පදක්කම් සංඛ්‍යාව 56කි. ඒ එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකික සූපවේදීන් ඔලිම්පික් තරගාවලියක ලද හොඳම සාධනීය මට්ටමයි. ලබාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාවයි. තරගාවලියේ තවත් වැදගත්ම අවස්ථාවක් මෙන්ම ශ්‍රී ලාංකිකයකු ලෙස ලද තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස ලෝකයටම ලබාදෙන අතිවිශේෂ රන් සම්මාන දෙකින් එකක් සඳුන් සිංහබාහු විසින් ලබා ගනු ලැබීම පෙන්වා දිය හැකියි. ශ්‍රී ලාංකික සූපවේදී ඉතිහාසයේ මෙවැනි ජයග්‍රහණයක් තුනක් පමණක් අපට හමුවෙයි.

කෙසේ හෝ මෙවර සූපවේදී ඔලිම්පික් තරඟාවලි විනිශ්චය මණ්ඩලයෙන් ද ක්‍රීඩකයන් වෙත ලැබුණු ප්‍රතිචාර වෙනත් වසරවල ප්‍රතිචාර වලට වඩා ඉහළ අගයක තිබී ඇත. මෙවැනි විශාල ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට මෙම සංගමයේ සභාපති විසින් සිදුකරන විශිෂ්ට මෙහෙයවීම සහ ක්‍රීඩකයන්ට ලබාදෙන පුහුණුව සහ සංවර්ධනය බොහෝවිට ඉවහල් වී ඇත. නැවත 2024 වර්ෂයේ දී පැවැත්වීමට නියමිත තරගාවලියට සහභාගි වෙමින් මීටත් වඩා ජයග්‍රහණයන් අත්පත්කරගැනීමට ඔවුන් අපේක්ෂා කරමින් සිටී. මෙවර සියලු රටවල් අතරින් වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ ඔවුන් සතුව ඇති දැඩි උත්සාහය, කැපවීම මෙන්ම මෙම කටයුත්ත සඳහා තිබුණු දැවෙන ආශාව නිසාවෙනි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඔබ අප සැම දෙනාටම මෙය මහත් අභිමානයක් ගෙන දෙන්නක්ම වේ.

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner