වසංගත රෝග බිය දුරුකරන රතන සූත්‍ර දේශනාව

වසංගත රෝග බිය දුරුකරන රතන සූත්‍ර දේශනාව

ad-bannerවිශේෂාංග

Published on 3/22/2020

214 Views

මේ දිනවල කාගෙ කාගෙත් සිත්වලට සැනසීමක් නම් නොවේ. සියල්ලන්ම වසංගත රෝග බියෙන් දැවෙමින් සිටී. ලොව පවතින බලවත් රටවල් වලට පවා මේ දිනවල පැතිරී පවතින වසංගත මර්දනය කර ගැනීමට නොහැකි වී ඇත. මෙවැනි වසංගත රෝගී තත්ත්වයන් අද ඊයේ ඇති වූ තත්ත්වයන් නොවේ. අතීතයේ දී ද මෙවැනි දෑ නිසාවෙන් මිනිස් ජීවිත දහස් ගනනින් මහ පොළොවට මිහිදන් වී ඇති බව ඔබ අසා ඇති. කවර රටක රන් ආකර තිබුනත්, තාක්ෂණය කොයි ලෙස තිබුනත් මෙවැනි වසංගත ඒ සියල්ලක්ම යටපත් කොට ඇති බව පෙනේ. පුද්ගලයන්ට ධර්මානුකූලව ලෝක ස්වභාවය තේරුම් ගැනීමටත් ලෝක ධර්මතාවය ඉදිරියේ ජීවන මාවත සකස් කර ගැනීමටත් මෙය හොඳම අවස්ථාවකි.

 

මිනිසුන්ගේ සියලු හොඳ හෝ නරක ධර්මානුකූල හෝ ධර්මානුකූල නොවන වෙනස්කම් සොබාදහමට දැනෙනු ඇත. එවිට සොබාදහම විසින්ද ඒවාට ප්‍රති උත්තර ලබා දීමට පටන් ගනී. මහපොළොව කිපීම, වැස්ස නොමැති වී දුර්භික්ෂය හට ගැනීම, වසංගත පැතිරී යාම එවැනි ප්‍රතිඋත්තර ලබාදෙන ආකාර කිහිපයකි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ විශාලා මහනුවර තුන්බිය හටගත් බව ඔබ අසා ඇති. දීර්ඝ කාලයක් දුර්භික්ෂයක් පැවැතී ඉන් පසු මිනිසුන් රෝගී වීමට පටන් ගැණුනි. ගැසීම් නොමැතිව සෘතු වෙනස් වීමෙන් හටගත් මෙම තත්ත්වය නිසා ආහාර නැතිවී ජලය නැතිවී සතුන් තැන තැන මැරී ගියහ. මළකුණ ආහාරයට ගන්නා ප්‍රේත අමනුෂ්‍යයන් විශාලා මහනුවර අමනුෂ්‍ය ග්‍රහණයට ලක් කර ගන්නට සමත් විය. එම මළකුණු පිරිසිදු කරන අයට අමනුෂ්‍යයන් කිපී තව තවත් බලපෑම් කරන්නට වූ බව පැරැණි පොත්පත්වල සඳහන් වේ.

 

 

එදා බුදුරජාණන් වහන්සේ මහා සංඝයා සමඟ විශාලා මහනුවරට වැඩම කර රතනසූත්‍ර දේශනාව පැවැත්වූහ. රතනසූත්‍ර දේශනාව පුරා ගාථා වල ඇත්තේ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ මහා ගුණ සමුදායයි. එම ගුණය කැටි කළ පිරිත් පැන් විශාලා මහනුවර පුරා ඉසීමෙන් අනතුරුව සොබාදහමෙහි කෝපය නැති වූ බව ද පොත්පත්වල සඳහන් වී ඇත. පුද්ගලයන් සොබාදහමට එරෙහි වීමෙන් සොබා දහමද කෝප වන බවත්, ඒ තුළින් ස්වභාදහම මිනිසුන්ට විපත් වසංගත ඇතිකරන බවත්, මනුෂ්‍යයන් ධර්මානුකූලව ජීවත් වීම තුළින් පරිසරය පිරිසිදු වී සුවදායි පරිසරයක් නිර්මාණය කර දෙන බවත් ඉහත කී තුන්බිය ආශ්‍රිත පුවත කදිම නිදසුනකි.

 

එම නිසා මෙවැනි වසංගත සමයකදී සැමවිටම පුද්ගලයන් මෛත්‍රී සහගත විය යුතුයි. රෝගය වැළඳුණු රටවල රෝගීන්ටද මෛත්‍රී කළ යුතුයි. සෑම විටම පරිත්‍යාගශීලී වෙමින් තමන් රෝගියෙක් නම් හෝ රෝග අවධානමක ඇති කෙනෙක් නම් වෛද්‍ය උපදෙස් පිළිපදිමින් සාමාන්‍ය සමාජයෙන් තරමක් දුරට ඈත් විය යුතුයි. රෝග අවදානම ඇති පුද්ගලයන් පරිත්‍යාගශීලී නොවන තරමටම රෝගය වේගයෙන් පැතිර යා හැකියි. එමනිසාවෙන් ලෝක වසංගතයකින් තැවෙමින් සිටින මෙවන් අවස්ථාවකදී සෑම නිවසකම පාහේ රතනසූත්‍ර දේශනාව අසන්නට සැලැස්වීම තුළින් රෝග බිය දුරු වනු ඇත. රෝගීන්ගේ කායික සුවය වෙනුවෙන් වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලබන කැපවීමට අමතරව මෙවැනි සූත්‍ර දේශනාවන් තුළින් රෝගීන්ගේ මානසික සුවය නංවාලිය හැකියි. මනස නිරෝගී වන තරමටම පුද්ගලයන්ට ශාරීරිකව නිරෝගී වීමට මංපෙත් විවර වනු ඇත.

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi 

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner