ජාත්‍යන්තර නව නිපැයුම් තරගයෙන් ලොව ජයගත් පුංචි දියණිය

ජාත්‍යන්තර නව නිපැයුම් තරගයෙන් ලොව ජයගත් පුංචි දියණිය

ad-bannerවිශේෂාංග

Published on 4/15/2020

3004 Views

ශ්‍රී ලාංකීය දරුදැරියන් ලොව අන් සියලුම රටවල් පරදා තම දක්ෂතාවයන් ලොවටම පෙන්වා අවස්ථාවන් ඔබ කොතෙකුත් අසා ඇති. එවන් විශේෂිත ශ්‍රී ලාංකීය දියණියක් පිළිබඳවයි මෙම ලිපිය හරහා ඔබව දැනුවත් කරනුයේ.

 

ඇය නමින් J.A. මිහින්දි මිනුපමා නම් පාසල් දැරිය යි. රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම පුංචි දියණිය පසුගිය දිනක තායිවානයේ දී පැවැති පාසල් මට්ටමේ නව නිපැයුම්කරුවන්ගේ ජාත්‍යන්තර තරඟයක දී නව නිපැයුම් දෙකක් උදෙසා රන් සහ රිදී පදක්කම් මෙන්ම කුසලතාවයන්ද හිමි කරගෙන තිබේ. ඇය අධ්‍යාපනය ලබන්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ වන අතර ඇයට වයස අවුරුදු 12කි. මෙම ජාත්‍යන්තර නව නිපැයුම්කරුවන්ගේ තරගාවලිය ලොව රටවල් 22ක සහභාගිත්වයෙන් පාසල් මට්ටමින් ජාත්‍යන්තර තරගයක් වශයෙන් තායිවානයේ දී පවත්වන ලදී. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ මෙම පුංචි මිහින්දි ශිෂ්‍යාව සමග තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දොළොස් දෙනෙකි. ඇය විසින් එම තරඟය සඳහා මදුරුවන් පළවාහරින පරිසර හිතකාමී දියරයක් සහ අස්ථි බිඳීම් මස්පිඩු පෙරළීම් වලට පිළියමක් වශයෙන් ආයුර්වේද ආලේපනයක් ද තමා විසින්ම නිපදවා ඉදිරිපත් කරන ලදී. එම නව නිර්මාණ සඳහා ඇයට රන් සහ රිදී පදක්කම් හිමිවිය. නව නිපැයුම්කරුවන්ගේ ජාත්‍යන්තර තරගාවලියට මෙම ශිෂ්‍යාව ඇතුළු අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා ඉදිරිපත් කරන ලද්දේ මෙරට නව නිපැයුම් කොමිෂන් සභාවේ නිර්දේශයකට අනුවයි. පුංචි මිහින්දි විසින් ප්‍රකාශ කරන ලද්දේ ඇය විසින් පිළියෙල කරන ලද එම මදුරුවන් පළවාහරින පරිසර හිතකාමී දියරය සහ අස්ථි බිඳීම් මස්පිඩු පෙරළීම් වලට පිළියමක් ලෙස නිර්මාණය කළ ආයුර්වේද ආලේපනය නව නිපැයුම් තීරකවරුන්ගේ විනිශ්චයට ඉදිරිපත් කර ඒ ගැන හඳුන්වාදීමක් ද කළ බවයි. ඇය විසින් එම නිර්මාණ බස්නාහිර පළාත් නව නිර්මාණ තරඟයකට ද ඉදිරිපත් කර ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය. තායිවානයේ පැවති මෙම තරගයට ඇය විසින් ඉදිරිපත් කරන ලද මදුරුවන් පලවා හැරීමේ ආලේපනය නිර්මාණය කිරීම සඳහා පැඟිරි, කුරුඳු ,සේර ඇතුළු ශාක විශේෂ කිහිපයක් භාවිතා කරන ලදී. මේ වන විට ආයුර්වේද අංශයෙන් ශ්‍රී ලංකාව තුළ නව නිර්මාණ සිදු කර ඇත්තේ පුද්ගලයන් දෙදෙනකු පමණි.

 

එමෙන්ම ඇයට මෙවැනි නිර්මාණ සිදු කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා දෙන ලද්දේ ඇයගේ මව වන කුමුදුමාලි දිසානායක මහත්මියත් ,පරිවාස නිලධාරියකු වන සුජීව බණ්ඩාර වන ඇයගේ පියාත් යන දෙදෙනායි. එලෙසින් ම ඇයට කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් ඕනෑම භාෂාවකින් නව නිපැයුම් පිළිබඳව හැඳින්වීමක් කිරීමට ද අවශ්‍ය පුහුණුව ලබා දෙන ලදී. ඇය විසින් ඇයගේ නව නිර්මාණ සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමට ද මේ වන විට ඉල්ලුම් කර තිබේ. තවද ඇය විසින් මේ වනවිට සංගීත විශාරද උපාධියක්ද ලබා ගැනීමටද සූදානම් ව සිටි. මෙවැනි දිරිය දරුවන් ශ්‍රී ලංකාවට මහත් අභිමානයකි. වැඩිහිටියන් වශයෙන් අප විසින් කළ යුත්තේ එවැනි දරුවන්ට අවශ්‍ය ශක්තිය සහ මගපෙන්වීම නොඅඩුව ලබා දීමයි. එවිට තව තවත් ශ්‍රී ලාංකීය නාමය බබළවමින් ලෝකය ජයගන්නට ඔවුනට හැකිවනු නොඅනුමානයි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner