අකුරු පුරාණය හෙවත් සෙල්ලිපි

අකුරු පුරාණය හෙවත් සෙල්ලිපි

ad-bannerවිශේෂාංග

Published on 4/8/2020

449 Views

ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් සොයාගත් හාර දහසක් පමණ වූ සෙල්ලිපි අතරින් 1048 ක් සවිස්තරව සංඛ්‍යාලේඛන වලට රැගෙන තිබේ. මේ සියලු සෙල්ලිපි පිහිටි ස්ථාන අනුව ලෙන්ලිපි, ගිරිලිපි, ටැම්ලිපි, පුවරුලිපි සහ වෙනත් ලිපි ආදී වශයෙන් නම් කර වර්ග කර ඇත. ගුහා ලිපි, පර්වත ලිපි, ස්තම්භ ලිපි, පදරලිපි ආදී වශයෙන්ද තවත් ආකාරයකට මේවා නම් කිරීමට සහ වර්ග කිරීමට පුළුවනි. වෙස්සගිරිය, මිහින්තලේ, රිටිගල ආදී ස්ථාන වල ඇති ගල්ලෙන්වල කටාරම අසල හෝ සමහරවිට ලෙන ඇතුලේ හෝ කොටන ලද ලිපි ලෙන් ලිපි ලෙස හැඳින්වේ. අතර තෝනිගල, දඹුල්ල, සිතුල්පව්ව ආදී ස්ථානවල පිහිටි ගල්වල ද ගල් තලාවලද කොටන ලද ලිපි ගිරි ලිපි නමින් ද හඳුන්වනු ලැබේ.

මොරගොඩ, බුද්දන්නෙ හෙළ වැනි ස්ථානවල හෙවත් ගල් ලෙන තුළට වැසි ජලය ගලා නොයන ලෙස ලෙන් දොරට උඩින් ගල අද්දර බේරා ඇති ගැටිය සකසා සිටවූ ගල් කණු වල එක පැත්තක හෝ පැති කීපයක හෝ කොටා ඇති ලිපි ටැම් ලිපි නමින් හැඳින්වේ. වේවැල්කැටිය, මිහින්තලය, ජේතවනාරාමය ආදී ස්ථානවල දක්නට ලැබෙන පුවරුවක විලාසයෙන් සැකසු ගල් ලෑලි වල කොටා ඇති ලිපි පුවරු ලිපි හෙවත් පදර ලිපි ලෙස හැඳින්වේ. ගල් ඔරු, පියගැටපෙළ ආදී තැන්වල දක්නට ලැබෙන ලිපි සහ තඹ සන්නස්, රන් සන්නස් මෙහි ලා වෙනත් ලිපි ලෙසින්ද සැලකේ. මෙරට සෙල්ලිපි ඉතිහාසය දෙවන පෑතිස් අවදිය දක්වා ඈතට විහිදෙයි. මේ ලිපි අතර මුල් වකවානුවේ සිට හත්වන සියවස දක්වා ලියැවී තිබෙන ලිපි එක් ගණනකටත් එතැන් සිට ලියවී ඇති ලිපි තවත් ගණනකටත් ඒවායේ භාෂා ලක්ෂණ අනුව වෙන් කිරීමට පුළුවනි.

වර්තමාන සිංහල හෝඩිය අද පවතින තත්ත්වයෙන්ම පුරාණයේ පැවතුනේ නැත. එය ඒ ඒ වකවානු තුළ ක්‍රමයෙන් විකාශනය වෙමින් පැවතිණි. මේ පිළිබඳ තොරතුරු විමසීමේදී ඉහත සඳහන් කරන ලද සෙල්ලිපි අතිශයින්ම වැදගත් වෙයි. ඒවායෙහි එකල පැවති අකුරුවල සංකේත ඒ අන්දමින්ම දැකිය හැකි වේ. සිංහල අකුරු වල ආදිම සංකේත බ්‍රාහ්මී අක්ෂර බව සෙල්ලිපි මේ සෙල්ලිපි විමසුමෙහිදී මුල් කාලීනව පැවති අක්ෂර වල හැඩය සහ විලාසය ද එකල පැවති භාෂා ව්‍යවහාරය ද ලිපි වල ආකෘතියද තොරතුරු ද විමසීමට අපට උපකාරී වේ. මේ අතින් අපට බෙහෙවින් ආධාර වන සෙල්ලිපියකි තෝනිගල සෙල්ලිපිය. වව්නියාවේ සිට හොරොව්පතානට යන පාරේ 6 වන සැතපුම් කණුවට සැතපුම් භාගයක් පමණ උතුරෙන් පිහිටි දකුණු තිලක්කුමලය ප්‍රදේශයේ තෝනිගල හෙවත් නාගරගල නමින් හැඳින්වෙන ගල් තලාව මත පිහිටි මෙම ලිපිය ක්‍රිස්තු වර්ෂ 4 වන ශතකයේ මෙරට රජ කළ සිරිමෙවන් රජුගේ කාලයේ ලියවුනු ලිපියක් වශයෙන් පිළිගනු ලැබේ. මේ ලිපිය එකල මෙරට ලේඛන ව්‍යවහාරය සඳහා භාවිතා කළ බ්‍රාහ්මී අක්ෂර වලින් සමන්විතයි.

සිංහල භාෂා විකාශනය පිළිබඳව කරන භාෂා තත්ත්ව පරීක්ෂණයකදී මෙවැනි ලිපි ඉතා වැදගත් වනු ඇත. එහෙත් එක් යුගයකට අයත් එක් ලිපියකින් පමණක් භාෂාවක පරිණාමය පිළිබඳ පර්යේෂණයක් කළ නොහැකි බවද මෙහිදී විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි. පුරා විද්‍යාව අනුව අක්ෂරයන්ගෙ පරිණාමය ද ඉතා වැදගත්. ඒ පිළිබඳව තෝණිගල ලිපියෙන් හෙළිවන කරුණු ඉතා අගනේය. එකල මෙරට පැවැති ආර්ථික තත්ත්වය ද කෘෂිකර්මාන්තයේ ස්වරූපයද භික්ෂූන් වහන්සේ සඳහා ප්‍රත්‍ය පහසුව සැලසූ විලාසයද තෝණිගල ලිපියෙන් හෙළිදරව් වන්නේය. මෙසේ ඓතිහාසික තොරතුරු රැසක් සනාථ කරන තෝනිගල ලිපිය සුවිශේෂී වූ අගනා ලියවිල්ලක් වන අතර පැරණි භාෂා මූලාශ්‍රයක්ද වන්නේය.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo Source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner