ඔබත් ස්මාර්ට් වයිෆ් කෙනෙක් ද?

ඔබත් ස්මාර්ට් වයිෆ් කෙනෙක් ද?

ad-bannerLifestyle

Published on 2/9/2020

1403 Views

අප පුද්ගලයන් වශයෙන් ජීවිතයේ යම් කාලයක් සැපෙන් සතුටින් ගත කළ ද තවත් කාලයක් දුෂ්කර වන බව ඔබ අත්විඳ ඇති. කෙතරම් දුෂ්කර වුව ද ජීවිතය හැර යාමට අපට නොහැකි අතර අවශ්‍ය වන්නේ මනා සිහි බුද්ධියකින් යුතුව එම දුෂ්කරතා මග හරවා ගැනීමයි. ඔබ නිවසක ගෘහනියක් වශයෙන් සාමාන්‍යයෙන් එදිනෙදා කටයුතු කරන විට වියදම් දරා ගැනීමට පුරුදු විය යුතුයි. පසුම්බියට එන මුදල් හොරු ගත්තා හා සමානව නැති වන කාලයකි මේ.

 

ස්වාමිපුරුෂයා විසින් මුදල් උපයා දුන්න ද නිවසේ වියහියදම් පිළිබඳව ඔහුට ඇත්තේ සුළු අවබෝධයක් වන්නට පුළුවනි. ඔහු විශාල සමාගමක මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු විමට පුළුවනි. නමුත් නිවසේ මූල්ය ක්ෂේත්රයේ දැවැන්තයන් වන්නේ ගෘහණිය වන ඔබයි. ඒ තරමට නිවසේ මුදල් පාලනය මුළුතැන්ගෙයි අඩුපාඩු ආදිය පාලනය වන්නේ බිරිඳකගේ අතින්. වර්තමානය වන විට අතීතයෙදි යම් මුදල් ප්‍රමාණයකට ඔබ ලබා ගත් භාණ්ඩ ප්‍රමාණය මෙන් භාගයක්වත් වර්තමානයේ දී ඔබට වෙළඳපළෙන් මිලදී ගැනීමට නොහැකියාවක් පවතින බව ඇත්ත. ගෘහනියක් වශයෙන් ඔබ විසින් ඔබගේ පවුලේ සාමාජිකයන් විසින් කනබොන දේ පිළිබඳව දෙවරක් නොව කිහිප වරක් සිතන්නට සිදුවී තිබේ. වර්තමානයේ දී අහස උසට නැගී ඇති එළවළු මිල හේතුවෙන් ඔබ මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙනු ඇත. මෙහිදි ඔබට කළ හැකි මූලික ප්‍රතිකර්මය වනුයේ මිල අධික එළවළු වෙනුවට විකල්ප එළවළු වලට මාරු වීමයි. බොහෝ වෙලාවට මේ වගේ විකල්ප එළවළු වලට යොමු වුනේ නැත්තෙ ඒවායේ රස වලට අපේ කැමැත්තක් නොතිබුණ නිසා වන්නට ඇති. නමුත් ඔබගේ ආර්ථිකයට ශක්තියක් වීමට නම් ඔබගේ පුරුදු ටිකක් මගහැරගන්න අවශ්‍ය වෙයි.

 

 

තවද තමාගේ ගෙවත්තේම හැකි පමණ එළවළු වගා කරගන්නට ද හැකි නම් එය කෙතරම් වටිනවාද. ඒ වගේම මෙම කාලයේ නිවසේ පවත්වන ප්‍රියසම්භාෂණ උත්සව ආදිය අවලංගු කිරිම නුවණට හුරු වේ. අවශ්‍ය ප්‍රමාණයට වියදම් හකුළා ගනිමින් ඔබගේ නිවසේ අවශ්‍යතා වුවමනා සපුරා ලීමේ වගකීම පැවරී ඇත්තේ ගෘහණියක් තුළයි. තමාට අත්‍යවශ්‍යම මොනවාද නැද්ද යන්නද ගෘහණිය විසින් හරිහැටි තෝරා බේරා ගැනීමද අත්‍යවශ්‍යම කරුණකි. ගෘහණියක් ලෙස ඔබ නුවණින් කටයුතු කළොත් ඔබේ පසුම්බියේ මුදල් තරමක් දුරට ඉතිරි කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

 

වර්තමානයේ දී බොහෝමයක් මව්වරුන් විසින් අමතර පංතියක් අවසන් වූ පසු දරුවන් පසුපස යන විට රැගෙන යන්නේ පැණි බීම බෝතලයක් සමග බේකරි කෑම වර්ගයකි. ඒ සඳහා අවම වශයෙන් රුපියල් දෙසීයක් පමණ වත් වැයවේ. ඒ වෙනුවට ගෙදර පිළියෙල කර බත්මුලක් දරුවාට රැගෙන යෑමට හැකියාවක් පවතිනවා නම් පලක් නොමැතිව වියදම් කරන මුදල් ද ඉතිරි වේ. එමගින් ඔබගේ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ද ආරක්ෂා වනු ඇත. බොහෝමයක් මව්වරුන් විසින් සමාජය ඉදිරියේ තමාගේ තත්ත්වය පෙන්නුම් කිරීම උදෙසා දරුවාට ඉහළ වෙළෙඳ නාමයන් යටතේ විකිණීමට පවතින බේකරි කෑම ලබා ගන්නට පෙළඹී තිබේ. එමගින් ඔබගේ සමාජ තත්ත්වය පෙන්වීමක් නොව තට්ටු වන්නේ අනවශ්‍ය ලෙස ඔබගේ පසුම්බියටයි.

 

සැමියන් විසින් නිවසට ලබාදෙන මුදල් ප්‍රමාණය මදි යැයි මැසිවිලි නගනවාට වඩා තමාගේ නුවණ පාවිච්චි කර එම සුළු මුදල හෝ යහමින් කළමනාකරණය කර ගැනීමට හැකියාවක් පවතී නම් එයම යම් දවසක ඔබගේ පවුලේ ම දියුණුවට හේතුවක් වේවි. අනවශ්‍ය මුදල් වැය කිරීම්වලින් බැහැරව අවශ්‍යම දෙයට පමණක් වැයකර ඔබගේ සැමියාටද හයියක් වන්නට හැකිනම් ඔබ ස්මාර්ට් බිරිඳක් වනු ඇත.

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Interent

ad-banner

0 Comments

Leave a comment

ad-banner