ඵලදායි දිවියක් උදෙසා කාලය කලමනාකරණය කරමු

ඵලදායි දිවියක් උදෙසා කාලය කලමනාකරණය කරමු

ad-bannerLifestyle

Published on 2/14/2020

180 Views

කාලය යනු රන් හා සමාන දෙයකි. මෙම කියමන අතීතයේ පටන් පැවත එන්නේ රත්තරන් හා සමාන වටිනාකමක් කාලයට ඇති බැවිනි. කාර්යබහුල ජීවිතයක් ගතකරන පුද්ගලයන් වන අපට කාලයෙන් වැඩ ගන්න තාලය දැනසිටීම වඩාත් වැදගත් වේ.බාල මහලු වැඩිහිටි කිසිදු භේදයකින් තොරව සියලුම දෙනාට දිනකට ලැබී ඇත්තේ පැය 24 ක් වන අතර එය කිනෙකාට වෙනස් වනුයේ තමා විසින් එම කාලය ප්‍රයෝජනවත් අයුරින් යොදා ගන්නා අන්දම අනුවයි. මැදුරක ජීවත්වන සිටුවරයෙකුට මෙන්ම දුගී පැලක යාචකයෙකුට ද හිමි වී ඇත්තේ පැය 24කි. එනිසාවෙන් කාලය වඩාත් හොඳින් කළමනාකරණය කර ගන්නට හැකියාව තිබෙන පුද්ගලයා තමන්ගේ මුළු ජීවිතයම වඩා හොඳින් කළමනාකරණය කර ගන්නා බවට සැකයක් නොමැත. මෙවැනි වැදගත් කමක් සහිත කාලය හොඳින් කළමනාකරණය කරගන්නේ කෙසේදැයි ඔබව දැනුවත් කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

 

මොහොතක් ඔබගේ නිවසේ වැඩකටයුතු ගැන අවධානය යොමු කළොත් දිනපතාම කරන කියන වැඩ කටයුතු වලට අමතරව ඔබට විශේෂිත වැඩවලටත් යොමු වීමට සිදුවේ. එම නිසාවෙන් කිසියම් පුද්ගලයෙකුට දවසේ පැය ගණන තමාට මදි යැයි හැගෙන්නට ද පුළුවන. ඔබ රැකියාවක නිරත වූ ගෘහණියක් නම් එම අදහස ඔබට අනේකවාරයක් සිතට නැගෙනු ඇත. දරුවන්ගේ කටයුතු පමණක් නොව නිවසේ එදිනෙදා කටයුතු සමඟ මෙවැනි අතිරේක කටයුතු ද එකතු වූ පසු ඔබ කායිකව මෙන්ම මානසිකව ද දැඩි පීඩාවකට පත්වේ. මෙම ගැටළුවට හොඳින් මුහුණදීම සඳහා ඔබ කළ යුත්තේ ඔබගේ වැඩකටයුතු සැලැස්මකට අනුව දියත් කිරීමයි. මාසයක ආරම්භක දිනයේ දී ඔබට කිසියම් සැලැස්මක් සාදාගත හැකි නම් එය වඩාත් පහසුවක් වේවි. ඒ තුළින් අත්‍යවශ්‍යම කාර්‍යයන් මුලින්ම ඉටු කරමින් අනෙක් කාර්යන්ට ඉන්පසුව ඉඩදීම තුළින් ඔබගේ කාලය මෙන්ම මුදල් ද නාස්තියකින් තොරව ආයෝජනය කර ගැනීමට ඔබට හැකි වේ. නිවසක ස්වාමියා පමණක් වැඩ සැලසුම් නොකර බිරිඳ වැඩ සැලසුම් කළ ද ඉන් පලක් වන්නේ නැත. ඔවුන් දෙදෙනාම හොඳින් සැලසුමක් සහිතව වැඩ කළ ද දරුවන් කිසිදු සැලසුමක් නොමැතිව සිටින්නේ නම් එයින්ද පලක් වන්නේ නැත. එනිසාවෙන් මෙහිදී අවශ්‍ය වන්නේ සැමියා බිරිඳ සහ දරුවන් එක්ව ඔවුන් ඔවුන්ට ගැළපෙන ආකාරයට ක්රියාත්මක කළ හැකි සැලසුමක් නිර්මාණය කර ඊට අනුව ජීවත් වීමයි. ලිඛිත සැලැස්මක් නොමැතිව සිතේ තැන්පත් කර ගත්තද රාත්‍රියේ දී නැවත මතකාවර්ජනය කල පසු ඔබට ඔබගේ අත්‍යවශ්‍යම කාර්යයන් කිහිපයක් හෝ මඟ හැරී තිබෙනු ඇතැයි හැඟෙන්නට පුළුවනි. නමුත් ගතවූ කාලය යළි ගත නොහැකි සේම කිරීමට නොහැකි වූ වැඩ කිරීමට හෙට දිනයේ කාලය කැප කිරීමටද ඔබට සිදුවේ.

 

වර්තමානයේ දී බොහෝ දෙනා අත ජංගම දුරකථනයක් පවතින බැවින් ඔබට ඔබගේ එදිනෙදා කාර්යයන් ජංගම දුරකථනය තුළින් ද පෙළගස්වා ගැනීමට හැකියාවක් තිබේ. කාලය යනු වඩාත් වටිනා නැවත ලබා ගත නොහැකි සම්පතකි. කාලය වැය වීමෙන් අනතුරුව දුක් වී පලක් නොමැත. ඒ නිසාවෙන් ඔබට ලැබී ඇති සීමිත කාලය වඩාත් ප්‍රයෝජනවත් අර්ථවත් ආකාරයට යොදා ගැනීමෙන් ඔබට ද ඔබේ පවුලේ සාමාජිකයන්ට ද සැනසිලිදායක ජීවිතයක් ගත කරමින් පවුලේ සතුට වැඩි කරගැනීමට ඉඩකඩ සැලසෙනු නොඅනුමානයි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner