කනේ ඇතිවන ඝෝෂාව භයානකද

කනේ ඇතිවන ඝෝෂාව භයානකද

ad-bannerLifestyle

Published on 7/20/2020

217 Views

ඇතැම් පුද්ගලයන් පවසන්නේ තමාගේ කන නිතර කුරු කුරු ගාන බවයි. ඇත්තෙන්ම එය කුමන තත්වයක්ද. කන කුරු කුරු ගෑම හෙවත් කනේ ඝෝෂාවක් ඇති වීම යනු බාහිර උත්තේජනයක් නොමැතිව කෙනකුගේ කනේ ඝෝෂාවක් ඇසීමයි. මෙම තත්ත්වය Tinnitus යනුවෙන් වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වයි.

 

කිසියම් පුද්ගලයකුට කනේ ඝෝෂාවක් ඇති වීමෙන් එම පුද්ගලයාගේ ශ්‍රවණය අඩුවිය හැකි අතර ශ්‍රවණය අඩු වූ විට බාහිර පරිසරයේ ශබ්ද ඇසීම ද අඩු වෙයි. එසේ වීමෙන් අභ්‍යන්තර කනේ හෝ කර්ණ ස්නායුවේ ඇතිවන අසාමාන්‍ය ස්නායු ආවේග ඝෝෂාවක් ලෙස ඇසිය හැකියි. මෙම තත්වයට හේතු විය හැක්කේ හිසේ ඇතිවන නොයෙකුත් ශබ්ද එනම් රුධිර නාළවල රුධිර ගමනාගමන ශබ්ද, බෙල්ලෙ සහ හනුවල සන්ධි චලනය නිසා ඇති වුණ ශබ්ද කණට ශ්‍රවණය වීමයි. මෙම සියුම් ශබ්ද සාමාන්‍ය පරිසරයකදී අවට පරිසරයේ ඇති ඝෝෂාව නිසා යටපත් වේ. කනේ ඝෝෂාව ඇතිවන්නේ ආකාර දෙකකටයි. එය කනට පමණක් බලපාන හේතු සහ මුළු ශරීරයටම බලපාන හේතු ලෙස වෙන් කළ හැකියි. කනට පමණක් බලපාන හේතු වශයෙන් හඳුන්වන්නේ වයස්ගත වීම නිසා ශ්‍රවණය අඩු වීම අධික ශබ්දයට නිරාවරණය වීම නිසා ඇතිවන ශ්‍රවණ ආබාධ තත්ත්වයන් වේ. තවද මෙනියර්ස් නම් රෝගයෙන් පෙළීම ද කනට පමණක් බලපාන හේතුවකි. එය අභ්‍යන්තර කනේ ඇතිවන රෝගී තත්ත්වයක් වශයෙන් පෙන්වාදිය හැකියි. තවද කර්ණ ස්නායුවේ ගෙඩි හටගැනීම, ඇස්කුටික් නියුරොමා තත්ත්වය, මැද කනේ අස්ථි ඝන වීම නිසා ශබ්ද තරංග නිසි ලෙස කර්ණ ස්නායුවට සම්ප්‍රේෂණය නොවීම, බාහිර කනක ළාදුරු හටගැනීම, මැද කනෙහි සහ තල්ලේ මාංශපේෂිවල ඇතිවන අසාමාන්‍යය ක්‍රියාකාරීත්වය යනාදියද කනට පමණක් බලපාන හේතු වේ. තවද මෙම ඝෝෂාව මුළු ශරීරයේම පවතින රෝග නිසාත් ඇතිවීමට පුළුවනි. මෙය සිදුවන්නේ යම් යම් රෝගී තත්ත්වයන් නිසා වෙන් කුඩා රුධිරවාහිනී අවහිර වී අභ්‍යන්තර කන සහ කර්ණ ස්නායුවේ ගැටලු ඇති වීම නිසාවෙන්. අධික රුධිර පීඩනය, ලිව්කේමියාව, නීරක්තියෙන් පෙළීම, දියවැඩියා රෝගයෙන් පෙළීම, අධික කොලස්ටරෝල්, උණ, අධිතයිරොයිඩතාව එවැනි රෝගී තත්ත්වයන් වේ. කනේ ඇතිවන ඝෝෂාව හා නාඩි වැටෙන ශබ්දය අතර සම්බන්ධයක් ඇති නැති බවක් මෙහිදී රෝගියාට දැනේ. මෙහිදී සමහර පුද්ගලයන්ට දවස පුරාම ඝෝෂාව ඇතිවන නමුත් සමහර අයට කඩින් කඩ එය ඇති වේ. ඝෝෂාව නිසා රෝගියාට එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමට නොහැකි වෙයි. විශේෂයෙන් එම පුද්ගලයාගේ නින්දට බාධා විය හැකියි. මෙවැනි තත්ත්වයකදී උගුර කන සහ නාසය පිළිබඳ වෛද්‍යවරයා මෙම රෝගියාගේ රෝග ඉතිහාසය අසා පරික්ෂා කරනු ලබයි. ඒ අනුව මුළු ශරීරයටම බලපාන රෝගී තත්ත්වයක් නම් වෛද්‍යවරයෙකු වෙත යොමු කරයි. සාමාන්‍යයෙන් කනේ ඝෝෂාවක් නිතර ඇතිවන රෝගියෙකුට ඒ තත්ත්වය ඇති වන්නේ කෙසේද යන්න හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ කිහිපයක් සිදුකළ යුතුය.

 

 

රුධිර පරීක්ෂණ, ශ්‍රවණ පරීක්ෂණය, ස්කෑන් පරීක්ෂණ යනාදිය මෙහිදී සිදු කරනු ලබයි. රෝග ලක්ෂණ අනුව අවශ්‍ය සියලූ පරීක්ෂණ කර රෝගය හඳුනාගත් පසුව ප්‍රතිකාර කළ යුතුයි. කන් දෙකේම ශ්‍රවණ ඌනතාවයක් තිබේ දැයි පරික්ෂා කර එවැනි තත්ත්වයක් නම් ශ්‍රවණාධාර ලබාදීමට වෛද්‍යවරුන් විසින් කටයුතු කරයි. මේ හැර අනේ ඝෝෂාව අඩුකිරීමට ශ්‍රවණාධාරකයකට සමාන විශේෂ ආධාරකයක් ද ලබාදීමට කටයුතු කරයි. මෙම ඝෝෂාව නිසා නින්දට බාධා ඇති වේ නම් රෝගියාගේ නිදන කොට්ටය යටින් රේඩියෝවක් හඬ අඩු කර තබා ගැනීමට උපදෙස් දෙනු ලැබේ. මේ නිසා කනෙන් ඝෝෂාවක් ඇසේනම් එය සුළුකොට නොතැකිය යුතුය. හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම සිදු කළ යුතුය.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
ad-banner

0 Comments

Leave a comment

ad-banner