ඉන්දියන් පූරි රස බලමුද?

ඉන්දියන් පූරි රස බලමුද?

ad-bannerරසපදම

Published on 12/1/2019

533 Views

පූරි කියන්නේ බොහොම රස ඉන්දියන් කෑම වර්ගයක්. ඉන්දියන් කෑමක් වුනාට අපිට මේක ගෙදරදීම රස බලන්න වැඩි වියදමක් නම් යන්නේ නෑ. ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද කියලා අපි බලමු.



පූරි සදහා
*ආටා පිටි ග්‍රෑම් 250
*ලුනු ස්වල්පයක්
*වතුර කෝප්ප බාගයක්
*බැදගැනීමට ප්‍රමාණවත් තෙල්


අල ව්‍යංජනය සදහා
*තම්බාගත් අල ග්‍රෑම් 250
*සිහින්ව ලියාගත් ලොකු ලූණු
*සුදු ලූණු
*කරපිංචා හා අබ ස්වල්පයක්
*තෙල් මේස හැදි 01



පළමුවෙන්ම අපි පූරි ටික හදාගන්නේ කොහොමද බලමු.


වෙලදපලේ තියන ආටා පිටි කියන්නේ ඇත්තටම තිරිඟු පිටි වල එක් ප්‍රභේදයක්. එය තරමක් ගුරු පැහැයට හුරුයි. ඉතින් හොඳ වර්ගයේ ආටා පිටි ග්‍රෑම් 250 අරගෙන එයට ලුණු ස්වල්පයක් එකතු කරලා වතුර ටික ටික එකතු කරලා අතේ නොඇලෙන පදමට අනාගන්න. අනාගත් පිටි මෝලිය තෙත රෙදි කැබැල්ලකින් වහල විනාඩි 30ක් පමණ පිපෙන්න තියන්න. පසුව පිටි මෝලිය කුඩා දෙහි ගෙඩියක ප්‍රමාණයට කඩලා වෙන් කරගන්න.
දැන් පොල් තෙල් ස්වල්පයක් ට්‍රේ එකක හෝ ඉටි කොලයක තවරලා කුඩා පිටිගුලි එක බැගින් ගෙන හොඳින් තුනී කරගන්න. හරියට කුඩා ප්‍රමාණයේ පපඩමයක් පමණ වෙනකල්. දැන් පොල්තෙල් ටිකක් ලිපේ තියලා හොඳින් රත් වෙනකොට අපි හදාගත්ත පූරි ගැඹුරු තෙලේ බැදගන්න. මතක ඇතිව මද ගින්දරේ පූරි ටික බැදගන්න. මොකද නැත්නම් පූරි ටික ඉක්මනින් කරවෙන්න බලනවා.


දැන් අපි බලමු පූරි රස බලන්න ගන්න අල ව්‍යංජනය හදන්නේ කොහොමද කියලා.
ඇත්තටම අපි හදන්න යන්නේ අල තෙම්පරාදුවක්. මේ සදහා අල හොඳින් සෝදා තම්බගන්න. තම්බගත්ත අල ටික කුඩා කෑලි වෙන්න චොප් කරගන්න ඕන. තෙල් මේස හැන්දක් භාජනයකට දාලා ඒකට කපාගත් ලූණු, සුදු ලූණු, කරපිංචා, කෑලි මිරිස්, කහ, ලුනු ඇති පමණ එක් කරගන්න. අබ ටිකක් එකතු කරගන්න අමතක කරන්න එපා. අන්තිමේදී තම්බා පොඩි කරගත් අල ටික එකතු කරලා රසවත් අල තෙම්පරාදු හදාගන්න.


ඉතින් දැන් අපේ උණු උණු පූරි ටික අල ව්‍යංජනයත් එක්ක රස බලන්න ලෑස්තියි. හවස තේ පානයට ඒ වගේම අමුත්තෙක් ආවාම ඔබට විශේෂ කෑමකින් සංග්‍රහ කරන්න හිතුන වෙලාවට පූරි හදලා රස බලන්න.

 

by Dilki Shamani

Photo credits : Internet

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner