කටට රසට චිකන් මස්ටඩ් කරිය

කටට රසට චිකන් මස්ටඩ් කරිය

ad-bannerරසපදම

Published on 2/13/2020

486 Views

බාල මහලු වැඩිහිටි සෑම දෙනෙක්ම ප්‍රිය කරන ආහාරයකි කුකුල් මස්. වර්තමානේ වන විට ගෘහණියන් විසින් සැම විටම වෙනස්ම ආකාරයකට තම ආදරණීයන්ට රසවත් ආහාර වේල් පිළියෙල කරදී මෙහිලා වඩාත් සැලකිලිමත් වේ. බොහෝ විට රාත්‍රි කෑම මේසය කුකුල් මස් කරිය කින් හැඩකරන්නට සුවඳවත් කරන්නට වර්තමාන ගෘහණිය අමතක නොකරයි. සම්ප්‍රදායික කුකුල් මස් කරියකට එහා ගිය චිකන් මස්ටඩ් කරියක් නිවසේදීම රසට ගුණයට පදමට පිලියෙල කරගන්නා ආකාරය මෙම ලිපිය හරහා ඔබට ඉදිරිපත් කෙරේ. අබ රසයත් සමඟ මුසු වූ මෙම කුකුළු මස් කරිය ඔබගේ නිවසේ විශේෂ අවස්ථාවකට ද වඩාත් කදිම වන අතර මද ගින්දරේ පිසින බැවින් කල්තබා ගැනීමටද හැකියාවක් පවතී.



චිකන් මස්ටඩ් කරිය පිළියෙළ කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය,


    - කුඩා කැබලි වලට කපාගත් කුකුල් මස් කිලෝ එකක්
    - හොඳින් අඹරා ගත් සුදු ළූණු මේස හැඳි එකක්
    - අබ ක්‍රීම් මේස හැදි එකහමාරක්
    - විනාකිරි තේ හැඳි දෙකක්
    - කැබලි ගම්මිරිස් මේස හැදි එකක්
    - තුනපහ කුඩු මේස හැදි එකක්
    - මිරිස් කුඩු මේස හැදි එකක්
    - කහ කුඩු තේ හැඳි බාගයක්
    - ලොකුවට කපාගත් බී ලූණු ගෙඩි හතරක්
    - ලොකුවට කපාගත් තක්කාලි ගෙඩි හතරක්
    - රම්පෙ ස්වල්පයක්
    - කරපිංචා ස්වල්පයක්
    - සේර ස්වල්පයක්
    - පොල් තෙල් මේස හැදි දෙකක්
    - ඔබේ රුචිය අනුව ලුණු
    - උකුවට මිරිකාගත් මිටි කිරි කෝප්ප එකක්



චිකන් මස්ටඩ් කරිය පිලියෙල කරගන්නා ආකාරය,


ප්‍රථමයෙන්ම කුඩාවට කපාගත් කුකුල් මස් කැබලි වලට සුදුලූනු, ඉඟුරු අබ ක්‍රීම්, විනාකිරි, ලුණු, ගම්මිරිස් දමා හොදින් අතගා විනාඩි 45ක් පමණ සීසන් කරගන්න. ඉන්පසුව පතුල මදක් පැතලි භාජනයක් ගෙන එම භාජනයට පොල්තෙල් ස්වල්පයක් දමා රත්කර එයට කුකුල් මස් එකතු කර මදගින්නේ විනාඩි විස්සක් පමණ පියන වසා තබන්න. ඉන්පසු කුඩා හැන්දක් ආධාරයෙන් එම මිශ්‍රණය හොඳින් කලවම් කර තවත් විනාඩි දහයක් පහළොවක් පමණ පියන වසා මදගින්නේ ලිපි මත පිසෙන්නට හරින්න. දැන් එම මිශ්‍රණයට තුනපහ, මිරිස්, කහ, ලුණූ, තක්කාලි, රම්පා, කරපිංචා, සේර යනාදිය එකතු කර විනාඩි දෙකක් තුනක් පමණ තෙම්පරාදු කර ගන්න. අවසානයේ දී උකුවට මිරිකාගත් මිටි කිරි කෝප්පය කුකුල් මස් මිශ්‍රණයට එකතු කර එය ද මදගින්නේ විනාඩි පහළොවක් විස්සක් පමණ පිසගන්න.

 

දැන් අලංකාර ලෙස චිකන් මස්ටඩ් කරිය ඔබගේ ආදරණීයන්ට පිළිගන්වන්න. මෙවැනි කුකුල් මස් කරියක් සාම්ප්‍රදායික නොවන අන්දමට පිළියෙල කර ගැනීමෙන් එය ඔබගේ ආදරණීයන්ට වඩාත් රසවත් නැවුම් අත්දැකීමක් වනු ඇත. මෙම චිකන් මස්ටඩ් කරිය කල්තබා ගැනීමටද හැකියාවක් ඇති බැවින් පෙර දින පිළියෙල කර ගත් විට බත් සමඟ කාර්‍යාලයට ගෙන යාමටද හැකිවේ.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi 

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner