2020 දී වෙනස් වන Twitter

2020 දී වෙනස් වන Twitter

ad-bannerඅලුත් ලෝකය

Published on 1/19/2020

110 Views

Twitter සමාගම විසින් ලබන වසරේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් කරලියට ගෙන එනු ඇතැයි නිවේදනය කර ඇත. මෙයට ප්‍රධාන වශයෙන් සම්බන්ධ වන්නේ Twitter සංවාද ප්‍රදර්ශනය කිරීමේ නව ක්‍රමයක් වන Twitter Threads ය. වර්තමානයේ එම සමාගමේ මූලාකෘති යෙදුම වන “twttr” යෙදුම යොදාගෙන මෙම වෙනස්කම් සඳහා  පරීක්ෂණ සිදු කෙරේ.

 

 

අනාගතයේ වඩා හොඳ Twitter සංවාද?

 

මිට අදාළ අංගයන්ගෙන් එකක් වන්නේ Reddit වැනි සංවාද ක්‍රමයකි. ප්‍රසිද්ධ ඉංජිනේරුවෙකු වන Jane Manchun Wong, Twitter වෙබ් අඩවියේ මෙම අංගය සංවර්ධනය කරමින් සිටී. Twttr හි නිල යෙදුම පසුගිය මාර්තු මාසයේදී නිකුත් වූ දා සිට, එම යෙදුමේ අවධානය වැඩි වශයෙන් යොමු වී ඇත්තේ Twitter Threads දියුණු  කිරීම සඳහාය. උදාහරණයක් ලෙස, මෙම Twitter Thread එකක මුල් Tweet  එක Reddit හි දක්වන ආකාරයේ මයික්‍රෝෆෝනයකින් සලකුණු කර ඇත. Tweet එකක විස්තර බැලීමේදී පරිශීලකයන්ට tap එකකින් සක්‍රිය කළ හැකි විශේෂාංගයක් මෙන්ම වර්ණ කේත කරන ලද Reply යනාදිය මේ වන විට  “twttr” යෙදුම යොදාගෙන පරීක්ෂාවට ලක් වෙමින් පවතින විශේෂාංග වේ.

 

මෙම සියලු පරීක්‍ෂා කරන ලද විශේෂාංග ප්‍රධාන යෙදුමේ ක්‍රියාත්මක වේ දැයි දැනට නිශ්චිතවම කිව නොහැක.  නමුත් Janeගේ  සොයා ගැනීම් ප්‍රධාන යෙදුමට ඉක්මනින් ගෙන ඒමට සැලසුම් කර ඇති බව Twitterහි ප්‍රකාශකයෙකු විසින් TechCrunch වෙබ් අඩවියට පවසා ඇත.  ලබන වසරේදී මෙම නව පෙරළිය ඇරඹෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

නමුත් මෙම පෙරළිය තුළ දර්ශනපථයේ වෙනස්වීම් වලට වඩා වැඩි යමක් ඇතුළත් විය හැකිය. Twitter විසින් Retweet සහ Mentions ක්‍රියා කරන ආකාරය වෙනස් කිරීමටද ඉඩ ඇත. මේ මස මුලදී, Twitterහි සැලසුම් හා පර්යේෂණ උප සභාපති Dantley Davis 2020 දී ක්‍රියාත්මක කිරීමට නියමිත නව විශේෂාංග ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කළේය. මිට සංවාදයකින් ඔබට ඉවත් වීමට ඉඩ ලබා දීම, ඔබේ අවසරයකින් තොරව mention කිරීමේ හැකියාව ඉවත් කිරීම යනාදිය ඇතුළත් වේ. Dantley  ප්‍රකාශ කළේ පරිශීලකයින්ට තම ගිණුම පාලනය කිරීමේ බලතල ඉහළ නැංවීම මඟින් වඩා හොද Twitter පසුබිමක් නිර්මාණය කිරීමට මෙන්ම  Twitter අවභාවිතය අඩු කිරීමටද හැකියාව ලැබෙන  බවයි. මීට අමතරව, මෙම විශේෂාංග වලට ප්‍රවේශ වීම සහ භාවිතා කිරීමද පහසු විය යුතු බව ඔහු තවදුරටත් පැවසිය.

 

 

අක්‍රීය Twitter ගිණුම් ඉවත් වේද?

 

දෙසැම්බර් 11 වනදා සිට අක්‍රීය Twitter ගිණුම් ඉවත් කිරීමට පටන් ගන්නා බව මෑතකදී Twitter සමාගම නිවේදනය කළේය. ඒ අනුව මාස හයකට වඩා වැඩි කාලයක් අක්‍රියව ඇති ඕනෑම ගිණුමක් දෙසැම්බර් 11 වන විට අදාළ පරිශීලකයන් හට log in  වීමට අපොහොසත් වුවහොත් ඉවත් කිරීමට ඉඩ ඇති බවට Twitter විසින් email යවමින් අනතුරු අඟවා ඇත. නමුත් සමාගම එම නිවේදනය පිලිබඳව නැවත සලකා බැලීමක් කර ඇත. මියගිය අයගේ ගිණුම් අනුස්මරණය කිරීමට ක්‍රමයක්  තවමත්  ඔවුන් සොයාගෙන නොමැති බැවින් ඊට විසඳුමක් සොයා ගන්නා තුරු අක්‍රිය ගිණුම් මකා දැමීමට පියවර නොගන්නා බව ඔවුන් පවසයි.

 

මේ ආකාරයේ ගිණුම් ඉවත් කිරීම් විශාල තාක්ෂණික සමාගම්වලට අලුත් දෙයක් නොවේ. මේ වසරේ අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ Facebook  ව්‍යාජ ගිණුම් බිලියන 3.2 ක් ඉවත් කර ඇති අතර LinkedIn ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ ව්‍යාජ ගිණුම් මිලියන 21.6 ක් ඉවත් කර ඇත.

 

මෙම ක්‍රියාමාර්ගයේ වාසිදායක ප්‍රථිපලයක් ලෙස, නව පරිශීලකයන්ට Twitter පරිශීලක නාම කිහිපයක් නිදහස් වේ. නමුත් ඒ සමඟම  සමහර පරිශීලකයින්ගේ අක්‍රීය ගිණුම් ඉවත් කිරීමේ ප්‍රථිපලයක් ලෙස Twitter අනුගාමිකයින්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් දැකිය හැකිය. කෙසේ වෙතත්, Twitter  2020 දී සිය සේවාවන්හි සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සඳහා දැඩි ලෙස සූදානම් වන බවක් පෙන්නුම් කෙරේ.

 

 

 

 

 

 

by D.S.Ishanthi

Photo source : Internet

Tags:
ad-banner

0 Comments

Leave a comment

ad-banner