ඇල්ල පුංචි සිරිපාදය

ඇල්ල පුංචි සිරිපාදය

ad-bannerගමන් බිමන්

Published on 2/2/2020

214 Views

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් ලෙස හැඳින්විය හැකි පුංචි සිරිපාදය යනු ඇල්ල නගරයට ආසන්නතම හා තරණය කිරීමට පහසුම කන්දකි. මිනි ඇඩම්ස් පීක්, ලිට්ල් ඇඩම්ස් පීක් යන නම්වලින්ද කඳු නගින්නන් අතර ප්‍රසිද්ධ පුංචි සිරිපාදය මුහුදු මට්ටමේ සිට මීටර් 1141ක උසින් යුක්ත වන අතර ඇතුල්වීමේ සිට එහි මුදුනට නැගීමට පැයක පමණ කාලයක් ගතවේ. එය පුංචි සිරිපාදය නමින් හැඳින්වීමට හේතුව වන්නේ මෙම කන්ද ශ්‍රී පාදස්ථානයේ හැඩයෙහි කුඩා ස්වරූපයක් ගැනීමයි.

 

ඇල්ල Flower Garden Resort එකට යාබදව මෙම කන්ද නැඟීමේ ආරම්භක ස්ථානය පිහිටා ඇත. ඊට අමතරව විකල්ප පිවිසුමක් අක්කර 98 ක නිවාඩු නිකේතනය ආසන්නයේද පිහිටා ඇත.  සශ්‍රීක හරිත තේ වතු හා දර්ශනීය කඳු වැටි හරහා වැටි ඇති මෙම මාර්ගයේ මුල් බාගය මනා ලෙස නඩත්තු කර මං සලකුණුද දක්වා ඇති අතර සමහර ස්ථානවල පඩිපෙළවල්ද ඇත. ඒ ඔස්සේ එහි ඉහළට නගින විට ඉතා සිත් ගන්නා සුළු දර්ශන දක්නට ලැබේ. පුංචි සිරිපාදයේ මුදුනට නැඟී විට යාබදින් පිහිටි ඇල්ල පර්වතය, ඇල්ල වැල්ලවාය මාර්ගය හා ඇල්ල ප්‍රදේශයේ ඉතා පැහැදිලි විචිත්‍රවත් දර්ශනයක් දැක බලා ගැනීමට හැකියාව ලැබේ. මෙම දර්ශනය ඉතා විසිතුරුව දැක බලා ගැනීමට හැකි වන්නේ සන්ධ්‍යා කාලයේ හිරු බැස යාමේදී සහ උදැසන හිරු උදාවේදියි. ඔබ අඩිපාරේ අවසානයට ළඟා වී මෙහි මුදුනට ලඟා වීමෙන් පසු ඊට ඔබ්බෙන් තවත් ඉහළ මුදුනක්  දිස් වේ. නමුත් ඊට ළඟා වීමට ක්‍රමවත් මාර්ගයක් නොමැති අතර එය ගමනේ මුල් බාගය මෙන් පහසු නොවේ. කෙසේවෙතත් එහි ඉහළට පෙනෙන දර්ශනය සැලකීමේදී අපහසුවෙන් හෝ එහි ළඟා වීම වටි.

 

 

මෙහි මුදුනට නැඟීම එතරම් අභියෝගාත්මක නොවුණත් ඔබට එවැනි අත්දැකීමක් අවශ්‍ය නම් එහි මුදුනට යන මාර්ගයේ කේබල් මාර්ගයෙන් ගමන් කිරීම වැනි ත්‍රාසජනක ක්‍රියාකාරකම්වල යෙදීමටද එහි පහසුකම් සලස්වා ඇත.

මෙම කන්ද තරණය කර වෙහෙසට පත්වන කඳු නගින්නන්ට විඩා නිවීම සඳහා නිවාඩු නිකේතන සහ හෝටල් රාශියක් එම ප්‍රදේශය අවට ඉදිකර ඇත.

 

ඇල්ල ප්‍රදේශයේ සුන්දරත්වය නිසා එය දේශීය මෙන්ම විදේශීය සංචාරයකයන් බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වන අතර  ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් නොවරදවාම මෙහි පැමිණේ. එබැවින් ඔබ එහි සංචාරය කරන්නේ නම් මෙම වටිනා  පරිසරය රැක ගැනීම සඳහා එහි හමුවන ශාක, මල් සහ සතුන්ට හානියක් නොවන ලෙස මෙන්ම එම පරිසරය අපවිත්‍ර නොවන ලෙස හැසිරිමට ඔබ වගකීමෙන් කටයුතු කල යුතු වේ.

 

 

 

 

 

 

 

by D.S.Ishanthi.

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner