සුන්දර සෙම්බුවත්ත

සුන්දර සෙම්බුවත්ත

ad-bannerගමන් බිමන්

Published on 12/1/2019

519 Views

මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්‍රදේශයේ පිහිටා ඇති සෙම්බුවත්ත වැව සංචාරක ආකර්ෂණය දිනාගත් සුන්දර ජලාශයකි. කැම්බල් පටුමග වන රක්ෂිතයට යාබදව පිහිටා ඇති මෙය දේශීය හා විදේශීය සංචාරකයන් අතර මෑතකදී ඉතා ජනප්‍රිය විය. 

 

1949 දී බ්‍රිතාන්‍යයන් විසින් මෙම ප්‍රදේශයේ තේ කම්හලක් ආරම්භ කරන ලද අතර පසුව ඒ සඳහා අවශ්‍ය වූ විදුලිය නිපදවීම සඳහා ස්වාභාවික දිය උල්පත් යොදාගෙන මෙම වැව නිර්මාණය කර ඇතැයි සැලකේ. එයට සෙම්බුවත්ත යන නම ලැබී ඇත්තේ අතීතයේ කර්මාන්තශාලා සේවකයෙකු මෙම ආසන්නයේ තිබී  පිත්තල බඳුනක් ( සෙම්බුවක් ) සොයා ගත් බැවින් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ඉන්පසුව මෙම ප්‍රදේශය සෙම්බුවත්ත ලෙස නම් කරන ලද අතර එහි තේරුම පිත්තල බඳුන් වත්ත යන්නයි. පසුකාලීනව, 2005 දී පමණ මෙම වැව සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය විය.

 

වත්තේගම  - ඇල්කඩුව - මාතලේ (B 461) මාර්ගයේ සිට වැව අසලට යන මාර්ගය  ( සෙම්බුවත්ත ලේක් පාර )  කි.මී. 04 ක් පමණ දුර වන අතර පටු හා වංගු සහිත තරමක් දුෂ්කර මාර්ගයක් වේ.  නමුත් මීදුමෙන් වැසුණු තේ වතු හා කඳුකර පරිසරය මෙම දුෂ්කර මාර්ගයේ දර්ශනීයත්වය ඉහළ නංවයි.

 

 මෙම වැව අඩි 30 - 40 ක් පමණ ගැඹුරු බැවින් ස්නානය කිරීමට හා පිහිනීමට අවසර නැත. ඒ සඳහා වෙනම ස්වාභාවික පිහිනුම් තටාකයක් වැව අසල ඉදිකර ඇත. මෙහි බෝට්ටු පැදීම, කැනෝයිං සහ අවට පයින් ගස් හා තේ වතුවලින් වැසී ඇති බෑවුම් හරහා කඳු  තරණයද, වැවට ඉහළින් කේබල් ආධාරයෙන් ගමන් කිරීම වැනි ත්‍රාසජනක ක්‍රියාකාරකම්වල යෙදීමටද පහසුකම් සලසා ඇත. එමෙන්ම රාත්‍රිය පුරා රැඳී සිටීමට කැමති අය සඳහා, කබානා සහ කඳවුරු බැඳීමේ පහසුකම්ද මෙහි තිබේ. මෙම ක්‍රියාකාරකම් සඳහා ප්‍රවේශ පත්‍ර වෙන වෙනම විකුණන අතර පරිශ්‍රයට ඇතුළු වීමට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතුය.

 

මිදුම සහිත සෞම්‍ය දේශගුණය හා මනස්කාන්ත පරිසරය හේතුවෙන් සෙම්බුවත්ත විඩාබර ගත සිත සැහැල්ලු කර ගැනීමට ඉතා සුදුසු ස්ථානයක් වේ. ඔබ සෙම්බුවත්ත වැව නැරඹීමට බලාපොරොත්තු වන්නේ නම් කරුණාකර එම දර්ශනීය පරිසරය දුෂණය කිරීමෙන් වැළකී  එහි සුන්දරත්වය මතු පරපුරටද  දැක බලා ගැනීමට හැකි වන සේ රැකගන්න.

 

by D.S.Ishanthi

Photo credits : Internet

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner