ගල්බොඩ ඇල්ල සංචාරය

ගල්බොඩ ඇල්ල සංචාරය

ad-bannerගමන් බිමන්

Published on 2/7/2020

387 Views

මධ්‍යම පළාතේ නාවලපිටිය සහ වටවල නගරවලට ආසන්නයේ පිහිටි ගල්බොඩ හුදෙකලා ගම්මානයකි. කොළඹ - බදුල්ල උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි ගල්බොඩ ගම්මානයට තවමත් හොඳින් සංවර්ධනය වූ මාර්ග පද්ධතියක් නොමැති බැවින් සංචාරකයින් මෙන්ම එහි ගම්වාසින් සඳහාද එකම පහසු ප්‍රවාහන ක්‍රමය දුම්රිය වේ.

 

ගල්බොඩ දුම්රිය ස්ථානයේ සිට දුම්රිය මාර්ගය ඔස්සේ මඳ දුරක් ගමන් කර මනරම් තේ වතුයායක් හරහා කිලෝමීටර 2 ක් (සැතපුම් 1.2) පමණ ඇවිද යාමෙන් ගල්බොඩ දිය ඇල්ල කරා ළඟා විය හැකිය. සුවදායි බවක් ගෙනෙන වැසි සහිත සිසිල් තෙත් පරිසරය මෙම දර්ශනීය දිය ඇල්ල මඟින් තවත් අලංකාර වී ඇත.

 

නුවර එළිය දිස්ත්‍රික්කයට අයිති වන මුහුදු මට්ටමේ සිට මීටර 920 ක් පමණ ඉහළින් පිහිටා ඇති මෙම ගල්බොඩ දිය ඇල්ල ආරම්භ වන්නේ මධ්‍යම පළාතේ ගල්බොඩ ඇළ හෙවත් හන්ගුරංකෙත ගඟෙන් වන අතර ශ්‍රී ලංකාවේ ඉහළම  වර්ෂාපතනයක් වාර්තා කරන වටවල නගරයට යාබදව මෙම ඇල්ල පවතින බැවින් එහි ජල මට්ටම බොහෝ විට වසර පුරාම නොසිඳී පවතී. දිය ඇල්ල මීටර් 30 (අඩි 98) ක් පමණ උසින් යුක්ත වන අතර එහි පළල මීටර් 3 (අඩි 9.8) සිට මීටර් 6 (අඩි 20) අතර පරාසයක පවතී. වර්ෂයේ ඇතැම් කාලවලදී, එහි දිය පහරවල් දෙකක් ආකාරයෙන් ජලය බැස යයි.

 

ගල්බොඩ යන්නෙහි තේරුම ‘ගලට යාබදව වැටීම’ යන්නයි. එම නමට හේතු වී ඇත්තේ ඇල්ල පාමුල පැතිරී ඇති විශාල ගල් තලාවය.

මෙය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු වන අතර මෙම ප්‍රදේශයේ තවමත් වෙළඳසැල් නොමැති බැවින් ඔබට අවශ්‍ය ආහාර පාන රැගෙන එහි යාම සුදුසු වේ. එමෙන්ම දිය ඇල්ලේ ගල් ලිස්සනසුලු බැවින් හා ජල පහරේ වේගය වැඩි විය හැකි බැවින් එහි උඩට නැගීමේදී මෙන්ම දිය නෑමේදීද ප්‍රවේශම් වීම ඉතා වැදගත් වේ.

 

දිය ඇල්ල අවට වනාන්තරය බොහෝ ශාක හා ජීවි විශේෂයන්ට නිවහනක් වන අතර එහි ඉතා දුර්ලභ ඕකිඩ් විශේෂයක් දක්නට ලැබේ. එමෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික උරග විශේෂ හතරක්ද එහි වාසය කරයි. එබැවින් ඔබ මෙහි සංචාරය කිරීමට බලාපොරොත්තු වන්නේ නම්  එහි පවතින මෙම ජෛව විවිධත්වය තවදුරටත් එලෙසම පවත්වා ගැනීම සඳහා පොලිතින් කැලි කසල දමා එම පරිසරය දුෂණය කිරීමෙන් වැළකීම අතිශයින්ම වැදගත් වේ.

 

 

by Sajini Ishanthi

Photo Source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner