කොත්මලේ මහවැලි මහා සෑය

කොත්මලේ මහවැලි මහා සෑය

ad-bannerගමන් බිමන්

Published on 2/7/2020

241 Views

කොත්මලේ සෑය එසේත් නැතිනම් මහවැලි මහා සෑය දිවයිනේ මධ්‍යම කඳුකරයේ කොත්මලේ ජලාශයට ඔබ්බෙන් ඉදි  වූ දැවැන්ත ස්තුපයකි.

 

මෙම ස්තූපය ඉදි කර ඇත්තේ මහවැලි ව්‍යාපෘතිය යටතේ කොත්මලේ වේල්ල ඉදිකිරීමේදී ජලයෙන් යට වීම නිසා තම විහාරස්ථාන, ගම්බිම් හා දේපළ අත හැර දැමීමට සිදු  වූ පොදු ජනතාවගේ පහන් සංවේගය උදෙසාය. කඩදොර විහාරය. තිස්පනේ විහාරය, මොරපේ දේවාලය සහ මැදගොඩ විහාරය ඇතුළු සිද්ධස්ථාන බොහොමයක් මෙලෙස මහවැලි  සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වූ විහාරස්ථාන අතර වේ.

 

අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව මහවැලි මහා සෑයෙහි ඉදිකිරීම් කටයුතු 1983 වර්ෂයේ මාර්තු 20 වන දින ආරම්භ කරන ලද අතර ස්තූපයේ ඉදිකිරීම් කටයුතු 1991 දී පමණ ඇණ හිටිණි. එහි ඉදි කිරීම් නැවත ආරම්භ කිරීම 2003 වර්ෂයේ මැයි 8 වන දින ආරම්භ වූ අතර එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා 200 නමකට අධික සංඛ්‍යාවක් සහ බැතිමතුන් 1500 ක් පමණ පැමිණ සිටියහ. මෙම දැවැන්ත ස්තුපයේ ඉදිකිරීම් 2016 වර්ෂයේ ජුනි මාසයේ අවසන් වූ අතර එතැන් සිට මහජනයාට එය විවෘත විය.

 

 

 

මහවැලි ගඟේ ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් සිදුවුව අවස්ථාවකදී ස්තුපය ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා මෙම සෑයෙහි මුල් ගල පිහිටි ගලෙන් අඩි 100 ක් පමණ ඉහළින් තබා ඇත. මහවැලි මහා සෑය නිර්මාණය කළ විද්‍යා-ජෝති ආචාර්ය ඒ.එන්.එස්.කුලසිංහ මහතා උස් ගල් කණු තිස් දෙකක් මත ස්ථූපයේ ස්කන්ධය ඉතා සූක්ෂම ලෙස සමමිතික වන ආකාරයට මෙය නිමවා ඇත. කොත්මලේ මහවැලි මහා සෑය අඩි 289 ක සම්පූර්ණ උසකින් යුක්ත වන අතර එය අනුරාධපුරයේ රුවන්වැලිසෑයට පමණක් උසින් දෙවැනි වේ.

 

මෙම ස්තුපය ඇතුළට ප්‍රවේශ විමේ හැකියාවද ඇති අතර එහි මධ්‍යයේ තවත් කුඩා ස්ථුපයක් දක්නට ලැබේ. මෙම ස්තුපයේ සතර දිශාවන්ට මුහුණ ලා ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේලා හතරක් ඇත. සෑම දොරටුවකම මනාව කැටයම් කරන ලද සඳකඩපහනක්, මුරගල්, කොරවක්ගල් ඇතුළු අලංකාර සම්ප්‍රදායික ප්‍රවේශයක් ඉදි කර ඇත.

 

බුබ්බුලාකාර හැඩයෙන් යුතුව දීප්තිමත් සුදු පැහැයෙන් බැබළෙන මහවැලි මහා සෑය කොත්මලේ නිම්නයේ දර්ශනීය පරිසරයට සැලකිය යුතු ආකර්ෂණයක් එක් කරයි. බොහෝ දෙස් විදෙස් සංචාරකයින් මෙන්ම බැතිමතුන් ද කොත්මලේ මහා සෑය පරිශ්‍රයට පැමිණ එය වන්දනාමාන කර ගනිති.

 

 

by Sajini Ishanthi

Photo Source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner