ශ්‍රී ලංකාවේ දිය ඇළි

ශ්‍රී ලංකාවේ දිය ඇළි

ad-bannerගමන් බිමන්

Published on 2/2/2020

113 Views

සානුවක හෝ උස්බිමක නෙත්තියෙන් පහළට ඇද හැළෙන ජල ධාරාවක් දිය ඇල්ල යනුවෙන් හැඳින්වේ. ලොකු උසක සිට පතිතවන විට ප්‍රමාණයෙන් විශාල එකක් නම් එය දහර ඇල්ලකි. ඇල්ලක් නිර්මාණය වීමට නම් ගල් සහිත උස් භූමියක් ඔස්සේ ලොකු ජලකඳක් පහලට ගලා යායුතුය. එම ගලන මග වඩා බෑවුම් සහිත වෙත්ම එහි වේගය ද වැඩිවේ.භූමි නිර්මාණය අනුව පොළොවේ යම් යම් ස්ථාන ගල් සහිත උස් බිම් සහ සානු සේ නැගී සිටී. එවන් භුමි ඔස්සේ ගැලූ දිය දහර උස් බිමේ හෝ සානුවේ ගැටියට පැමිණි විට එක්වරම පහල භූමිය වෙත කඩා හැලේ. මෙම ජලධාරාවේ ඉස්මත්තට තද වැහි ලැබෙන විට ඇල්ල ජලයෙන් පිරීයයි. ඉස්මත්ත හරස් කොට බැම්මක් බැඳි විට හෝ එම පෙදෙසට වැස්ස අඩු වු විට ඇල්ල සිහින් වෙයි. කාලයාගේ ඇවෑමෙන් භූමියේ සිදුවන විපර්යාස නිසා ඇල්ල පිහිටි ස්ථානය වෙනස් වී යාහැකිය. ගඟ හෝ ඔයවෙනත් දිශාවකට යොමු වී ගැලීම හෝ එයට ජලය ලැබීම නතර වුවහොත් ඇල්ල වියලී යයි.


බඹරකන්ද දිය ඇල්ල
මෙය ශ්‍රි ලංකාවේ පිහිටි උසින් වැඩිම දි‍යඇල්ලයි. උස මී‍ටර් 265කි. බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ඡන්ද කොට්ඨාසයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇත. කොළඹ - බණ්ඩාරවෙළ පා‍රේ කළුපහන හන්දියේ සිට වීරකෝන්ගම පාරේ සැතපුම් 4 පමණ ඇතුළට වන ලෙස වනාන්තරය තුළ පිහිටා ඇත


දියලුම ඇල්ල
ලංකාවේ ඇති උසින් තුන්වන තැන ගන්නා දිය ඇල්ලවේ. උස මීටර් 171කි. බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ඡන්ද කොට්ඨාසයේ කොස්ලන්ද නගරයට නුදුරින් වැල්ලවාය පාරේ පිහිටා ඇත. මෙම ඇල්ල හා සබැඳි ජනප්‍රවාද කිහිපයකි. ඉතා ඈත කාලයේ කුලවත් තරුණයෙක් හා කුල හීන තරුණියක් පිළිබඳව ශෝකාන්තමය පෙම් පුවත ඉන් ප්‍රධාන වේ.


ලක්ෂපාන ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහි‍ටා ඇත.උස මීටර් 125කි. සමනළ කන්දෙන් ඇරඹී කැළණි ගඟට වැටෙන මස්කෙළිය ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි. ලක්ෂපාන ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වන්නේ මෙම ඇල්ලේ ආධාරයෙනි. දඩයමේ ගිය වැදි නායකයෙකු විසින් මේ ඇල්ල සොයාගන්නා ලදැයි ජනප්‍රවාදයේ ඇත. එහෙයින් එය වැද්දාගේ ඇල්ල නමින් ද හැඳින්වේ.

 


ඇබර්ඩින් ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 100 පමණ වේ. කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔය මේ ඇල්ල නිර්මාණය කරයි. මෙම ඇල්ලට ඇබර්ඩීන් නම ලැබී ඇත්තේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්හි සිට පැමිණි සුදු ජාතිකයෙකු ඇබර්ඩීන් යනුවෙන් නම තැබු ඔහුගේ තේ වත්ත ඒ අසල තිබූ නිසා යැයි කියයි.


රම්බොඩ ඇල්ල
මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පිහිටා ඇත. උස මීටර් 109 ක් පමණ වේ. කොත්මලේ ඔයේ අතු ගංගාවක් වන පන්න ඔයෙන් හට ගනී.


ඩෙවෝන් ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 97 පමණ වේ. මෙම ඇල්ල නිර්මාණය කරන්නේ කොත්මලේ ඔය විසිනි. එඩ්වඩ්බාන්ස් නම් ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයා 1823 දී ගන්නොරුව ප්‍රදේශයෙන් මෙරට කෝපි වගාව ආරම්භකළ සමයේ එංගලන්තයේ ඩෙවෝන්ෂයර් හි සිට ලංකාවට පැමිණි ඔහුගේ හිතවතකු වැවු ඩෙවෝන් නම් කෝපි වතු යාය අසල මෙම ඇල්ල පිහිටා ඇත. මේ නිසා මෙම නම ලැබුණි.


ශාන්ත ක්ලෙයාර් ඇල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 80 පමණ වේ.කොත්මලේ ඔයෙන් නිර්මාණය වේ. මෙම ප්‍රදේශයේ විසු ඉංග්‍රිසි කෝපිවතු හිමියෙකු එංගලන්තයේ විසු ජෙනි‍ෆර් ක්ලෙයා නම් පෙම්වතිය සිහිවීම පිණිස නම තබා ඇත.


දුන්හිඳ ඇල්ල
බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මීටර් 63 පමණ උසය. බදුලු ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි. කඳුමුදුනේ සිට පහලට වැටෙන ජල බිඳු ගල් කුලවල හැපි වාතය සමග මුසුව මීදුමක් සේ විසිරෙන බැවින් මී‍ට, දුම්හිඳ නම ලැබුණු බවත් පසුව කටවහරේ දී දුන්හිඳ ලෙස නම ලැබුණු බවත් පැවසේ. කාලයාගේ ඇවෑමෙන් සිදු වු භූ ගෝලීය විපර්යාසයක් නිසා හෝ බදුලු ඔයේ ගමන් මග වෙනස්වී‍ම තුළ මෙම ඇල්ල නිර්මාණය වන්නට ඇත.


රාවණා ඇල්ල
සුන්දරත්වයෙන් පරිපූර්ණ රාවණා ඇල්ල, ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ගමන් කරනවිට හමුවන සොබාදහමේ විශිෂ්ඨ නිර්මාණයකි. මෙකී සුන්දරත්වය හා සබැඳි පුරාවෘත්ත රාශියකුත් ඇත. එයින් රාවණා රජු සම්බන්ධ කතා පුවත් රැසකි. වාල්මිකී විසින් රචිත රාමායණයේ කියැවෙන රාම - රාවණා කතා පුවතත් සමග මෙම අලංකාර දිය ඇල්ලත් සම්බන්ධතාවයක් පවතී. රාවණා රජතුමා විසින් සීතා කුමරිය රැගෙන විත් රදවා තැබුවායි සැළකෙන්නේ පෙර කී රාවණා ඇල්ල සමීපයේය. ඒ පිළිබද ඕනෑ තරම් ජනප්‍රවාද අප අසා ඇත. සීතා කුමරිය රැගෙන විත් ආරක්ෂා සහිතව රදවා තැබීමට සුදුසුම ප්‍රදේශය ලෙස රාවණා රජු මෙම රාවණා ඇල්ල අවට තෝරා ගත් බව පෙනෙයි. එයට සාධකයක් ලෙස රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරය ( මෙම විහාරය ක්‍රි .පූ. 2 සියවසේ දී වළගම්බා රජු විසින් කරවන ලද්දකි ) ආසන්නයේ පිහිටා ඇති රාවණා ගුහාව පෙන්වා දිය හැක. මෙම රාවණා ගුහාව, රාවණා රජු විසින් සීතා කුමරිය රදවා තැබූ ගුහාව යැයි ජනවහරේ කියැවේ.

 

 

by Gihan Hapuhetti

Photo Source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner