ඔලිම්පික් ක්‍රීඩාවේ සුලමුල

ඔලිම්පික් ක්‍රීඩාවේ සුලමුල

ad-bannerක්‍රීඩා

Published on 2/4/2020

981 Views

ඔලිම්පික් යනු දහස් ගණන් ක්‍රීඩකයන් විවිධ ක්‍රීඩාවන් සඳහා සහභාගී වන ප්‍රමුඛ අන්තර්ජාතික උත්සවයකි. රටවල් 200කට අධික ප්‍රමාණයක ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙය, ලොව ප්‍රමුඛතම ක්‍රීඩා උළෙල බව අවිවාදයෙන්ම පිළිගැනේ. වර්තමානයේ එක් ඍතුවකට අයත් ඔලිම්පික් උළෙලක් වසර හතර‍කට වරක් පැවැත්වෙන පරිදි ග්‍රීෂ්ම සහ ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා දෙවසරකට වරක් ප්‍රත්‍යාවර්ථනය වෙමින් පැවැත්වේ. ක්‍රිස්තු පූර්ව 8 වන සියවසේ සිට ක්‍රිස්තු පූර්ව 4 වන සියවස දක්වා වූ ආරම්භක කාලයේ දී පුරාතන ඔලිම්පික් ක්‍රීඩා ග්‍රීසියේ ඔලිම්පියාහි දී පැවැත්විණ. ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක්වූ පියරේද කබර්ටීන් නම් වංශාධිපතියා විසින් 1894 වර්ෂයේ දී අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව (IOC) පිහිටවනු ලැබීය. ඔලිම්පික් ප්‍රඥප්තියෙන් පනවා ඇති ව්‍යුහයට සහ ක්‍රියා පටිපාටියට අනුව කටයුතු කරන අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව එතැන් පටන් අද දක්වා ම ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වාගෙන ඒමට කටයුතු කරයි.


20 වන සහ 21 වන සියවස තුළ ඔලිම්පික් පදනමෙහි සිදු වූ විකාශනයන් ඔලිම්පික් උළෙල සඳහා ද නොයෙක් ආකාරයෙන් බලපෑවේ ය. හිම ක්‍රීඩා සහ ශීත කාලයට ඔබින ක්‍රීඩාවන් වෙනුවෙන් ශීත ඍතු ඔලිම්පික් උළෙල ඇරඹීම, ශාරීරික ආබාධයන්ගෙන් පෙලෙන්නවුන් සඳහා පැරාඔලිම්පික් තරගාවලිය හඳුන්වාදීම සහ නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා යෞවන ඔලිම්පික් ක්‍රීඩා හඳුන්වාදීම එලෙස සිදු වූ වෙනස්කම් අතර වේ. කාලයත් සමග සිදුවන ආර්ථික, දේශපාලනික සහ තාක්ෂනික යථාර්ථයන්ට අනුගත ව අනුවර්තනය වීමට 20වන සියවසේ දී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට සිදු විය. කුබර්ටීන්ගේ සංකල්පයකට අනුව හුදෙක් විනෝදාස්වාදයට පමණක් හෝ විවේකය ගත කිරීම සඳහා ක්‍රීඩා කරන්නවුන් වෙනුවෙන් අරඹන ලද ඔලිම්පික් උළෙල, පසුකාලයේ දී වෘත්තීමය ක්‍රීඩකයන්ට පමණක් සහභාගී විය හැකි පරිදි සැකසුනේ ඒ අනුව ය. ක්‍රමයෙන් වර්ධනය වන්නට වූ ජන සන්නිවේදන මාධ්‍යයන් ගේ අවශ්‍යතාව, ක්‍රීඩාවට ඒකාබද්ධ ප්‍රතිඥාතෘත්වයක් අවශ්‍ය වීමට සහ ක්‍රීඩාව වාණීජ්‍යකරණයට ලක්වීමට හේතු විය .1916, 1940, සහ 1944 වසර වලට නියමිත ව තිබූ ඔලිම්පික් උළෙලවල් ලෝක යුද්ධයන් නිසා අවලංගු විය. 1980 සහ 1984 වසරවල සීතල යුද්ධය පැවති හෙයින් ඇතැම් රටවල් ක්‍රීඩා උළෙල වර්ජනය කළ අතර ඒ නිසාවෙන් ම තරගකරුවන්ගේ සහභාගීත්වය ද අඩු විය.


අන්තර් ජාතික ක්‍රීඩා සම්මේලන (IF), ජාතික ඔලිම්පික් කමිටු (NOC), සහ එක් එක් වසරවල ඔලිම්පික් උළෙලවල සංවිධායක කමිටුවලින් ඔලිම්පික් ව්‍යාපාරය සමන්විත වේ. එක් එක් ඔලිම්පික් උළෙල පැවැත්වීම සඳහා සත්කාරක නගර තෝරා ගැනීම, තීරණ ගැනීමේ බලතල සහිත අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ වගකීමකි. ඔලිම්පික් ප්‍රඥප්තියට අනුකූල වන පරිදි ඔලිම්පික් උළෙල සංවිධානය කිරීමේත් ප්‍රතිපාදන යෙදවීමේත් වගකීම එක් එක් උළෙලේ සත්කාරක නගරය විසින් දැරිය යුතු ය. උළෙල පුරා තරගවැදීමට නියමිත ක්‍රීඩා පෙලගැස්ම ද ඇතුලත් වන වැඩසටහන සම්පාදනය කිරීම, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් සිදු කරනු ලබයි. ඔලිම්පික් ධජය සහ ඔලිම්පික් පහන මෙන් ම සමාරම්භක හා සමාප්ති උත්සව ද මෙම ක්‍රීඩා උළෙල සම්බන්ධ සංකේත වේ. විවිධ ක්‍රීඩා 33 ක ක්‍රීඩා අංග 400කට ආසන්න සංඛ්‍යාවක් සඳහා ග්‍රීෂ්ම සහ ශීත ඍතු ඔලිම්පික් උළෙලවලදී තරගකරුවෝ 13000කට වැඩි පිරිසක් තරගවදිති. එක් එක් තරග අංගයේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන හිමි කර ගන්නා තරගකරුවන් වෙත පිළිවෙලින් රන්, රිදී, ලෝකඩ වශයෙන් පදක්කම් පිරිනැමේ.


ලොව සෑම රටක්ම පාහේ මෙම උළෙලට සහභාගී වන තැන දක්වා වර්තමානය වන විට ඔලිම්පික් උළෙල දියුණු වී ඇත. එම වර්ධනය නිසාවෙන් ම ඔලිම්පික් වර්ජන, තහනම් උත්තේජක භාවිතයන්, නිළධාරීන්ගේ අල්ලස් ගැනීමේ සිද්ධි සහ ත්‍රස්තවාදී ක්‍රියා වැනි අභියෝගයන්ට ද මෙම උළෙල නිරතුරු ව මුහුණදෙයි. සෑම දෙවසරකට ම වරක්, අප්‍රකට ක්‍රීඩකයන් වෙත ජාතික මට්ටමෙන් මෙන්ම ඇතැම් විට අන්තර්ජාතික මට්ටමෙන් ද කීර්තියක් අත් කර දීමට ඔලිම්පික් උළෙල ත් ඒ හා බැඳුණු ජනමාධ්‍ය ආවරණය ත් සමත් වෙයි. එමෙන් ම සත්කාරක රටට සහ නගරයට තමන්ගේ සුවිශේෂතා ලෝකය හමුවේ පෙන්වීමට ද ඔලිම්පික් උළෙල අවස්ථාවක් සලසා දෙයි.

 

 

by Gihan Hapuhetti

Photo Source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner